සුදු අලියගෙන් වැඩ ගත්ත හැටි
බොරුවට බැන බැන සිටිනවාට වඩා අවශ්‍ය නම් පලාත් සභා වලින් වැඩ ගන්න පුළුවන් බව පෙන්වීමට ඇති හොදම උදාහරණයක් වන්නේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ කාලය තුළ වයඹ පළාත් සභාව වැඩ කටයුතු කළ ආකාරයයි. පහත පළවන්නේ ඔහු සමග සමබිම සිදුකළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම 1998 දී සිදු විය. මෙම පළාත් සභා මැතිවරණයේදී ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තුවේ සිය මන්ත්‍රී ධුරයෙන් සහ දිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරඟ කළේය. පළමු වයඹ පළාත් සභාවේ පළමු මහඇමැතිවරයා ලෙස ඡන්දයෙන් පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1988 මැයි මස 4 වන දින සිට 1993 ඔක්තෝබර් 19දින දක්වා කාල පරිච්ඡේදය තුළ එම ධුරයේ කටයුතු කළ අතර, එම කාලය තුළ ලංකාවේ බලය බෙදා හැරීම පිළිබඳ කළ උත්සාහය වඩා ප්‍රතිඵලදායී ලෙස අත්හදා බලන්නට ඔහුට හැකිවූ බව පක්ෂ විපක්ෂ කා අතරත් අවිවාදාත්මකය.
මම පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළා
J.R. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පළවෙනි අදියරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනෙක් දිස්ත්‍රික් 24 ක දිසා ඇමතිවරු වශයෙන් පත් කළා. මම 1978 සිට 1988 වෙනතුරු පාර්ලිමේන්තුවේ දිසා ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ඒක කාලෙ අපිට කිසිම මූල්‍ය බලයක් තිබුණේ නැහැ. දිසා ඇමතිට කියලා වියදම් කරන්න රුපියල් ලක්ෂයක්වත් දුන්නෙ නැහැ. ඒ මන්ත්‍රීවරුන් එක්ක සහෝදරත්වයෙන් වැඩකරන්න කිව්වත් ඒ කට්ටියට වෙන් වුණු මුදල් ඒ මන්ත්‍රීවරු දෙන්නෙ නැහැ. අපි ඇත්තටම වැඩ කෙරුවේ දේශපාලන සම්බන්ධීකාරකයන් විදියටයි. ඒ අඩුපාඩුව අපි ජනාධිපතිතුමාට පෙන්නුවා. ජනාධිපතිතුමා මෙහි යම් වෙනසක් කරන්න හිටියේ. J.R. ජයවර්ධන මහතා දෙවන වාරයටත් ජනාධිපති වශයෙන් පත් වුණා. ඉන් පස්සේ ජනමත විචාරණයක් දැම්මනෙ පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගන්න. එතැනින් පස්සෙ යාපනේදී අපේ රටේ හමුදා භටයින් 13 ක් මැරුවනෙ. මේ සිද්ධියෙන් නැති ජාතිවාදයක් ඇති වුණා. ඒකෙන් පස්සෙ අහිංසක දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ගෙ පැත්තෙන් කරපු විනාශය LTTE එක විසින් පුම්බලා ඉස්මතු කරන්නට වුණා. එයින් ලෝකයට අපි මිලේච්ඡ ජාතියක් කියලා පෙන්නුවා. එතනින් J.R. ජයවර්ධන මැතිතුමාගේ බලය විමධ්‍යගත කිරීම කියන එක සම්පූර්ණයෙන්ම ඇන හිටියා. උතුරේ ත්‍රස්තවාදය නැග එන්න පටන් ගත්තා. ඒ අනුව උතුරේ ත්‍රස්තවාදයට මුහුණ දීලා ක්‍රියාත්මක වෙන්නයි එතුමාට සිදු වුණේ.
මේ අවස්ථාව වෙනකොට ජෙනරල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුම කරමින් හිටියේ. අපට වඩමාරච්චියේ ගෙනගිය මෙහෙයුමෙන් යුද්ධය අවසන් කරන්න තිබුණා. නමුත් ඒ වෙලාවෙ ඉන්දියාව අපට තර්ජනය කරමින් ප්ලේන්වලින් ඇවිල්ලා කෑම දාලා ලංකාවට ඇඟිලි ගැහුවා. 87 වෙද්දී දකුණෙත් භයානක භීෂණයක් ඇවිල්ලා තිබුණා. එතකොට උතුරෙත් භීෂණය. ඒ තුළ රට ප්‍රශ්න දෙකකට හිර වුණ වාතාවරණයක් පැවතුණා. ඒ වෙලාවෙ යුදමය වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව, ඉන්දියාව හා වෙනත් රටවල් අපට ආධාර දුන්නෙ නැහැ. අපට සහාය දුන්නේ පාක්ස්ථානය හා චීනය විතරයි. ඉන්දියාව කළේ අපිව හිර කරපු එක. මේ වෙලාවෙදි රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම කියලා එකක් යෝජනා කරා. ඒත් එක්කම ඔහු කිව්වා ප්‍රභාකරන්ව සාම සාකච්ඡාවට ගේනවා, බලය විමධ්‍යගත කිරීමක් කරනවා, සාම හමුදා ගෙන්නලා උතුරු නැගෙනහිර පළාතේ කට්ටියට ආරක්ෂාව ඇති කරනවා කියලා.
87 ජූලි මාසේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න සති තුනකට විතර කලින් J.R. ජයවර්ධන මැතිතුමා සත් කෝරලේ සංඝනායක හාමුදුරුවන්ට පන්නල කටුගම්පල ආසනේ චෛත්‍යය විවෘත කිරීමට එන්න පොරොන්දු වෙලා තිබුණා. එතුමා එදා යාපනේ දිසා ඇමතිව සිටි දඹදෙණිය මන්ත්‍රී යූ.බී. විඡේකෝන්ටයි මටයි කිව්වා ගිරිඋල්ල පාලම ළඟට එන්න කියලා. කියපු වෙලාවට එතුමත් පැමිණියා. ඊට පස්සෙ අපිව වාහනේට නග්ගගෙන පන්නලට යන ගමන් කිව්වා, “මට වැදගත් තීරණයක් ගන්න තියෙනවා, ඒකට ඔය දෙන්නගෙ අදහස් ගන්න ඕනෙ. මම මේ වෙලාවෙ ලොකු ප්‍රශ්න කිහිපයක හිර වෙලා ඉන්නේ. එකක් LTTE එකට ගුවන් යානා නාශක මිසයිල ලැබිලා තියෙනවා කියලා රහස් තොරතුරු අංශයට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒවට ප්‍රතිනාශක අපට නැහැ. ඉන්දියාව හෝ බටහිර රටවල් දෙන්නෙත් නැහැ. හමුදාව කියනවා ඒවත් එක්ක එයාලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න බැහැ කියලා. එවැනි තත්ත්වයක් තියෙද්දී මට අද තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඒ අතර රජීව් ගාන්ධි මට යෝජනා කරනවා සාම ගිවිසුමකට එනවා නම් ප්‍රභාකරන්ව සාකච්ඡාවලට ගේනවා, පළාත් සභා කියල බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමයක් ඇති කරනවා, ඒ අය උතුරු නැගෙනහිර සාම හමුදා එක්ක ඒක ක්‍රියාත්මක කරනවා කියලා. මේ ගැන මොකක්ද ඔය දෙන්නාගේ අදහස්” කියලා ඇහුවා.
මේක ලොකු ජාතික ප්‍රශ්නයක්, අපි දැනගෙන හිටියා ඒක අපේ පක්ෂය ඇතුළෙත් මහා ලොකු විරෝධයක් ඇතිවුණු වෙලාවක්. විඡේකෝන් නිශ්ශබ්දව බලාගෙන හිටියා. දැන් J.R. උන්නැහේ අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. මම කිව්වා ‛රටට යහපතක් වෙනවා නම් ජනාධිපතිතුමනි අපි ඔබ තුමාට සහාය දෙනවා’ කියලා.
ඊට පස්සෙ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. පළාත් සභා පනත ගෙනාවා. පළාත් සභා කියන්නෙ ඒ වෙලාවෙ මව් කුසෙන් එන කුළුඳුල් දරුවෙක් වගේ. ඒ වෙනකොටත් මම දිසා ඇමතිවරයෙක්. නමුත් මට පෙනුනා මේක මගේ පළාතට යමක් කරන්න පුළුවන් හොඳ අභියෝගාත්මක අවස්ථාවක් කියලා. මාව ජනතාව පත් කරලා තියෙන්නෙ අනුන් කරන කියන දෙයක් කරන්න නෙවෙයි. නිර්මාණාත්මක සේවයක් කරලා ප්‍රතිඵලයක් දෙන එකයි මගේ ප්‍රතිපත්තිය. එක පැත්තකින් ජීවිත තර්ජන අභියෝගය තිබුණත් මම කල්පනා කළා මගේ පළාතට ඇත්තටම සේවයක් කරන්න පුළුවන් නිසා පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා කියලා. එතනදි මගේ ඡේ්‍යෂ්ඨත්වය සහ වරප්‍රසාද නැතිවෙනවා. ඒ වගේම තර්ජන තියෙනවා. නමුත් නියෝජ්‍ය ඇමතිකමක් හෝ ඇමතිකමක් හෝ ගන්නවාට වඩා වැඩ කරලා පෙන්නපු කෙනෙක් විදිහට මේ අභියෝගය භාර ගන්නවා කියල මම හිතුවා.
ඒ වෙලාවෙ කටුගම්පල අතුරු මැතිවරණයේදී මටත් වෙඩි තිබ්බා. අපේ නිලධාරීන් පිරිසක් මැරුවා. ඒ මරලා තියෙද්දිත් මම නිකන් හිටියෙ නැහැ. පළාතේ ආරක්ෂාව ගැන ගැටලු තිබියදීම මම නිලධාරීන් සමඟ සැලසුම් හැදුවා. මට අත්දැකීම් රාශියක් ලැබිලා තිබුණා දිසා ඇමතිවරයෙක් විදියට වැඩ කරලා. විශේෂයෙන්ම මට ඒ හැකියාව ලැබුණේ ලෝක බැංකු ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියෙන්.
මේ ව්‍යාපෘතිය අවුරුදු 5න් ඉවර කරන්න ඕනෙ කියලා ඒ වෙලාවෙ J.R. ජයවර්ධන මැතිතුමා මට අභියෝගයක් දුන්නා. ඒ කාලෙ තරුණයෙක් විදිහට මම ඒ අභියෝගය භාර ගත්තා. ඒකේ නිලධාරීන්ගේ මානසික ඒකාධිපතීත්වයක් තිබුණා. පොල් නිලධාරියා, කෘෂිකර්ම නිලධාරියා එක්ක වැඩ කරන්න කැමති නැහැ. කජු සංස්ථාවේ එක්කෙනා, පොල් නිලධාරියා සමඟ වැඩ කරන්න කැමති නැහැ. ඒ වගේ මහා ඒකාධිකාරියක් තිබුණේ මධ්‍යම ආණ්ඩුව යටතේ. මම ඒක තදින් බින්දා. සමහරු මාරු කරන්න වුණා, අයින් කරන්න වුණා. එතනදි මම සෞඛ්‍ය කමිටුවක්, වාරිමාර්ග කමිටුවක්, කෘෂිකර්ම කමිටුවක් හැදුවා. මේ ඔක්කොම අත්දැකීම් එක්ක මම මුළු වයඹ පළාතේම ධීවර පළාත්වලට, සංචාරක අංශවලට ආදී සෑම අංශයකටම කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන ප්‍රධාන සැලසුම් හැදුවා. එතකොට ඒව කරන්න මුදල් එන්නෙත් නැහැ, පඩි නඩි ගෙවන්න විතරයි මුදල් එවන්නේ. අපි කමිටුවලට හදපු සැලසුම් වහාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒවා ටික ටික පටන් අරගෙන කරගෙන යනකොට ජාත්‍යන්තරයට ගියා පණිවිඩයක් වයඹ පළාත් සභාව ආදර්ශමත්ව වැඩ කරනවා, හරි වැඩකාරයෝ ඉන්නේ කියලා.
එතකොට මා ගාව සෞඛ්‍යයට, කෘෂිකර්මයට, පශු අංශයට ව්‍යාපෘති යෝජනා තිබුණා. මට ආණ්ඩුවේ සල්ලි ආවේ නැහැ. මම ඉෆාට්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර සංවිධාන එක්ක කතා කළා. ඒ විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා∎
මහ ආණ්ඩුවට බලය පුජා කළ පළාත් සභා බලු කුක්කෝ
පළාත් සභා පනත අනුව පළාත් සභාවලට ස්වාධීනව ඉල්ලුම් කරලා, සාකච්ඡා කරලා විදේශ ආධාර/ණය ගන්න පුළුවන් පහසුකමක් හෝ හැකියාවක් නැහැ. වයඹ පළාත් සභාවේ අපි විතරයි ඒක කළේ. ඒ වෙලාවෙ තිබුණෙ ප්‍රේමදාස ආණ්ඩුව. මම එතැනදි උපරිම ප්‍රයෝජන ගනිමින් ආසියානු බැංකුවත් එක්ක අපි හදපු වාරිමාර්ග දියුණු කිරීමේ සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට අත්සන් කළා. ඒ ගණුදෙනුව කළේ මහා ආණ්ඩුවෙන් නෙවෙයි. වාරිමාර්ග ඇමති එන්.එම්. ධර්මදාස තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට කෙලින්ම පිලිපීනයේ මැනිලාවලට ගිහිල්ලා අත්සන් කළේ.
පරිසර විෂය සම්බන්ධයෙන් බලය පළාත් සභාවට නැහැ. වාරි කර්මාන්ත විෂය 13 වන සංශෝධනයේදී අයත් වෙන්නෙ සමගාමී ලැයිස්තුවටයි. මම වයඹ පළාත් සභාවට ප්‍රඥප්තියක් ගෙනාවා, මං හදපු ප්‍රඥප්තිය පළාත් සභාවෙන් අනුමත කෙරුවා. පළාත් සභාවෙන් අනුමත කළාට විතරක් මදි, ආණ්ඩුකාරවරයා විසින් ඒක මහ ආණ්ඩුවේ පරිසර අමාත්‍යංශයට යවන්න ඕන. එදා ප්‍රේමදාස ආණ්ඩුවේ පරිසර ඇමැති වශයෙන් හිටියේ ආචාර්ය විමල් වික්‍රමසිංහයි. එයා ඒක පාර්ලිමේන්තුවට ගෙනාවා. පාර්ලිමේන්තුවේදී මේක සාකච්ඡා කළා මිසක් තීන්දුවක් ගත්තෙ නැහැ. ඒ වෙලාවේ මට මතකයි කෑගල්ලේ මන්ත්‍රී කෙනෙක්, මං හිතන්නේ සමසමාජයේ මන්ත්‍රී අතාවුද සෙනෙවිරත්න වගේ කට්ටියක් කිව්වා මේක අනුමත කරන්න කියලා. ඒත් පාර්ලිමේන්තුව එහෙම කළේ නැහැ. නිකම්ම කල් දැම්මා.
පාර්ලිමේන්තුව විසින් තීන්දුවක් ගත්තේ නැතිනම්, ඒක මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න ඕන. නමුත් ඒකත් කෙරුනෙ නැහැ. ඒකත් ඒ අයට අමතක වුණා. මං ඒ මාසෙ වෙනකන් ඉඳලා හරියටම ආයෙත් දෙවැනි සැරේ පළාත් සභාවට ප්‍රඥප්තිය ඉදිරිපත් කළා. පළාත් සභාව ඒක අනුමත කෙරුවා. පනතේම තියෙනවා, එහෙම තීන්දුවක් දුන්නානම්, පළාත් සභාවෙන් අනුමත කරලා එතැනින් ඊට පස්සේ ගැසට් කරන්න ආණ්ඩුකාරවරයාට යවන්න ඕන කියලා. ඒ අනුව ඒක ගැසට් කළා. එහෙම තමයි වයඹ පළාත් සභාව වැඩ කළේ.
ඒ නිසයි මං කියන්නෙ මගේ කාලෙ පළාත් සභා ක්‍රමය අසාර්ථක වුණේ නැහැ කියලා. අද වුණත් එදා පැවැති වයඹ පළාත් සභාව මොඩලයක් නැත්නම් ආදර්ශයක් වශයෙන් සලකමිනුයි දේශපාලඥයෝ, නිලධාරීන් කතා කරන්නේ.
ව්‍යවස්ථාව පළාත් සභාවලට අවශ්‍ය බලය දීලා තියෙනවා. නමුත් අසාර්ථක වෙන්න හේතුව තමයි, ජනතාව පත් කරපු පළියට, ලස්සන කටහඬක් තිබුණාට රටක් පළාතක් පාලනය කරන්න බැහැ. බලයට ආවායින් පස්සේ ඒ පුද්ගලයා නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්න ඕන, එයා සතුව කුසලතා තියෙන්න ඕන, එයාට දැක්මක් තියෙන්න ඕන, විෂන් එක තිබුණට විතරක් මදි, ඒ සිහිනය සැබෑ කරගන්නේ කොහොමද කියන සැලසුම තියෙන්නත් ඕන. ඒ වගේම සැලසුම් හැදීම එකක්, සැලසුම් ක්‍රියාත්මක කිරීම තවත් එකක්. මට තිබුණා මගේම කියලා ඉලක්කයන්. මාසිකව ඒ ඉලක්ක සඳහා කාල රාමු හැදුවා, ඒවා ප්‍රෝග්‍රූම් කළා, මගේ ඇමතිවරුන්ට ඒවා පෙන්නුවා. දැන් පළාත් සභාවලට පත්වෙලා ඉන්නා ප්‍රධාන ඇමතිවරුන්ට හෝ ඇමතිවරුන්ට එවැනි කිසිම සැලසුමක් නැහැ. ඔහේ යන්නන් වාලෙ යනවා.
පළාත් සභා ඇති කරලා තියෙන්නෙ විදුලි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි, බෝක්කුවක් හදන්න නෙවෙයි, වැවක් ගැඹුරු කරන්න විතරක් නෙවෙයි. ඊට වඩා පුළුල් දර්ශනයකින් යුතුව ඒ ජනතාවගේ, ඒ කලාපයේ ආර්ථිකය දියුණු කරන්න, සමාජ තත්ත්වය දියුණු කරන්න, ආදායම් අංශය දියුණු කරන්න, ස්වයං රැකියා ඇති කරන්න, පරිසරය දියුණු කරන්නයි පළාත් සභා ඇති කරලා තියෙන්නේ. මේ සෑම ක්ෂේත්‍රයකටම පළාත් සභාවට බලය තියෙනවා, නමුත් ඒ කිසි දෙයක් කරන්නෙ නැහැ. නීති විරෝධී උනත් මං ගිහිල්ලා ගිවිසුමක් අත්සන් කරලා, ආයෝජකයෝ ටික වයඹ පළාතට ගෙන එන්න මට පුළුවන් වුණා. එතනදි මට ගැටලු ඇති වුණා. ඒ වගේම ගැටලු ඇති කළා. මම ගිවිසුම අත්සන් කළේ චීන ආණ්ඩුවත් එක්ක, මගේ උවමනාව වුණේ වයඹට විශාල ආයෝජකයෝ ගේන්න, ධීවර කර්මාන්ත පුහුණු අංශ විශාල ලෙස දියුණු කරන්න. මං මගේ අදහස මධ්‍යම ආණ්ඩුවේ ඇමති හැරල්ඩ් හේරත් මැතිතුමාට කිව්වා. මං කිව්වා ‛මං අත්සන් කරන්න ඕනෙ නැහැ, ඔයත් අපේ පළාතේ කෙනෙක්, ඔයා අත්සන් කරන්න, එතකොට මහා ආණ්ඩුවමනේ අත්සන් කරන්නේ, මං කරන්නෙ සාකච්ඡා කරපු එක විතරයි’ කියලා. ඒත් ඒක කළේ නැහැ.
නීතියකින් යම් සීමාවක් දාල තිබුණත් ඒ තුළත් තියෙනවා නීතිය කඩන්නේ නැතිව ක්‍රියාත්මක වෙන්න පුලුවන් අවස්ථා.
දැන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට සල්ලි ටිකක් දීලා තියෙනවා. ඒ අය බෝක්කු-කාණු අරවා මේවා හදනවා මිසක්, ඒවා කරන අතරෙම කෙටි කාළීන, මධ්‍ය කාළීන, දීර්ඝ කාළීන සැලසුමකට වැඩ කරන සැලසුම් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මහා ආණ්ඩුවයි පළාත් සභායි අතර සම්බන්ධයක් නැහැ. එතන තමයි ලොකුම වරද තියෙන්නෙ. ඒ නිසා පළාත් සභාවලට දොස් කියන්න එපා කියල කියන්න ඕන. මහා ආණ්ඩුවේ ජාතික සැලසුම් ප්‍රාන්ත මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමට යන්න ඕන. නමුත් ඒ සම්බන්ධය නැහැ.
ජාතිය ගැන, පළාත ගැන, ඡන්දේ දීපු ජනතාව ගැන හිතන්නෙ නැතිව තමන් ගැන හිතලා සාක්කු පුරව ගන්නවා, ඒ නිසා දූෂණ වංචා සිදුවෙනවා හැර වෙන මොකක්ද කරලා තියෙන්නෙ.
පළාත් සභා ක්‍රමය ලංකාවේ වාර්ගික ප්‍රශ්නය සහ සංවර්ධනය කියන මේ සියලුම දේවලට හොඳ පිළිතුරක් බව අපි පිළිගන්නවා. නමුත් ඉඩම් සහ පොලිස් බලතල වැනි දේවල් ගත්තොත් ජනාධිපතිවරයා විසින් ගැසට් කළාට පස්සෙ තමයි ඒක ක්‍රියාත්මක තලයට පැමිණෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මුල් අත්තිවාරම දාලා අවුරුද්දයි බලයේ හිටියේ. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආවා. අවසාන කාලෙ පොලිස් බලතල දෙන්න එතුමා ඒ අත්තිවාරම දාලා ගියා. නමුත් උතුරු නැගෙනහිර නැවතත් ත්‍රස්තවාදය එන්න පටන් ගත්තා. උතුරේ ඒ වෙද්දී ඉන්දියන් හමුදාව එක්ක ප්‍රභාකරන් හැප්පිලා. එවැනි බාධා තිබුණා ඒක අඩපණ වෙන්න. නමුත් දැන් පළාත් පොලිස් කොමිෂන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
වයඹ පළාතෙ මම ආරම්භ කරපු කර්මාන්ත පුර හතරටම මම ආණ්ඩුවෙන් සතයක් වත් ගත්තේ නැහැ. මට ලැබුණෙත් නැහැ. නමුත් රජයේ ඉඩම් යොදාගෙන මම ඒක කළා. ඒක නිසා ඒ දේවල් කරන්න යම් ඉඩම් ප්‍රමාණයක් පළාත් සභාවලට දෙන්න වෙනවා. දීල ජාතික කොමිෂන් එකට පළාත් නියෝජිතයෙකුත් දාගන්න එකයි තියෙන්නේ. ඊට පස්සෙ ඒ අයගෙන් රජය අහන්න ඕන ‛උඹලට ඉඩම් ඕනෙ මොනවටද? කර්මාන්ත භූමියක් දාන්නද? ජනපදයක් ඇති කරන්නද? නැතිනම් වගා වැඩ පිළිවෙළක් දාන්නද? තවානක් දාන්නද? නගර දියුණු කරන්නද? මේ ආදී වශයෙන් පළාත් සභාවට කෙටි සැලසුම් දෙන්න ඕනේ.
එහෙම නැතුව අද මධ්‍යම ආණ්ඩුව කරන්නෙ පළාත් සභාවල කටයුතුවලට ඇඟිලි ගැසීමයි. මම එදා එහෙම කරන්න දුන්නෙ නැහැ. පළාත් සභාවල අය දැන් පඹයෝ වෙලා ඉන්නෙ. ඒකට බලපාන අනෙක් ලොකුම හේතුව, අද පළාත් සභාවල ඉන්නෙත් ආණ්ඩුවේම අය. ඉතිං ඒ අය අද වැඩ කරන්නේ බලු කුක්කො වගේ. පළාත් සභාවෙ බලය පළාත් සභා විසින්ම මහා ආණ්ඩුවට පූජා කරලා∎
සාකච්ඡා කළේ මනෝරි කලුගම්පිටිය
No comments:
Post a Comment