Wednesday, December 18, 2013

මසාජ් එකක් නම් Thai massage තමයි !


!
thai-massage.450-10713විවිධ රෝගාබාධ සඳහා සම්බාහන ක්‍රම උපයෝගි කර ගැනීමේ චිකිත්සාව, මීට වසර 2500කට පමණ පෙර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පැවැති බවට සාක්ෂි ඉන්දියාවෙන් හමුවී තිබේ. 
බුදුරජාණන් වහන්සේට ද වෙදකම් කළ, ජීවක නම් ඉන්දියානු වෛද්‍ය චිකිත්සක සෘෂිවරයා ද සම්බාහන ක්‍රම භාවිත කර තිබූ බව ‍පොත්පත්වල සඳහන් වේ.
ඉන්දියානු ආයුර්වේද ක්‍රම මූලික කරගනිමින් ආරම්භ වූයේ යැයි සැලකෙන සම්බාහන චිකිත්සාව, යතිවරුන් අතර ප්‍රචලිත වූයේවිවිධ රෝගාබාධවලින් ආරක්ෂා වීමේ මාර්ගයක් ලෙසිනි. ඉන්පසු චීනය, තායිලන්තය වැනි ආසියාතික රටවල ව්‍යාප්ත වූ සම්බාහන චිකිත්සාව, පසුව විවිධ නම් සහ ක්‍රමවලින් ලොව පුරා පැතිරිණි. නමුත් මේ වන විට නිවැරදි සම්බාහන චිකිත්සාව පවතින්නේ ඉන්දියාවේ සහ තායිලන්තයේ පමණි.
එබැවින් තායිලන්තය කී සැණින් මතකයට නැගෙන දේවල් අතර තායි මසාජ් නොහොත් තායි සම්බාහනයට ඇත්තේ ද ප්‍රමුඛ ස්ථානයකි. තායි යෝග සම්බාහනය සහ කටු චිකිත්සාව ද තායි සම්බාහන චිකිත්සාවේ සෙසු අංගයන්ය. ශරීරය ඉහිල් කිරීම, නම්‍යශීලී බවින් වැඩි කිරීම, මානසික විවේකය ආදිය සඳහා මේවා ඉතා වැදගත් වේ. සම්බාහනයක් ලබාගැනීම සඳහා තායි සම්බාහන ආයතනයකට ගියපසු, ඔවුන් විසින් අසනු ලබන ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දිය යුතුය. පළමුව අසනු ලබන්නේ අවසාන වරට කෑමට ගත්තේ මොනවාද යන්නයි.

thai-massage.450-10713.1
එය ඝන ආහාරයක් වුවහොත්, සම්බාහනය පැය දෙකකින් ප්‍රමාද කරන්නට ඔවුන්ට සිදුවේ. සාමාන්‍යයෙන් ඝන ආහාරයක් ලබාගෙන පැය දෙකක් ගත වන තුරු සම්බාහනය සිදු නොකිරීම තායි සම්බාහනයේ පමණක් නොව, අනිකුත් සම්බාහනවලටද පිළිවෙතකි. සමේ රෝග, ආසාදන සහ තුවාල ඇත්නම් ඒවා සුව වනතුරු සම්බාහනයක් ලබාගත හැකි නොවේ. ඊට අමතරව මාස හයක් තුළ ශල්‍යකර්මවලට මුහුණ දී ඇත්නම් ද සම්බාහන සිදු නොකරයි.
හෘද සහ හර්නියා රෝගීන්ව මේ සඳහා යොමු කරන්නේ වෛද්‍ය සහතිකයක් ඇත්නම් පමණි. ගැබිනි කාන්තාවන් සඳහා ද සම්බාහන ක්‍රම ඇති අතර, එය සාමාන්‍ය ක්‍රමයෙන් බොහෝ සෙයින්ම වෙනස් වේ.

තායිලන්තයේ සම්බාහන ආයතන වර්ග කීපයක්ම තිබේ. ලිංගික සේවා රහිත සම්බාහන ආයතන වෙනමම තිබේ. ඒවායේ සේවය ද කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද ලබාගත හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්බාහනයක් ලබා ගැනීමට නම් යායුත්තේ මෙවැනි ආකාරයේ ආයතන වෙතටය.

තායිලන්තයට ගොස් තායි මසාජ් එකක් නොගැනීම යනු, මුහුදු වෙරළට ගොස් රැල්ල නොපාගා ආපසු එනවා වැනිය. සම්බාහනයක් ලබා ගැනීම සඳහා තායි සම්බාහන ආයතනයකට ඇතුළු වූ පසු මුල්ම කාර්යය වන්නේ ඉතාම සුවදායී මෙට්ටයක් වැනි අසුනක හිඳ ගන්නට සලස්වා මිහිරි මෘදු සංගීත නාදයක් ඇසෙන්නට සැලැස්වීමයි. මෙය විනාඩි 10කට සීමාවේ. ඉන්පසු එතැනින් ඉවත් වී නාන බේසමක් වැනි මදක් උණුසුම් ජලය පිරවූ බේසමක් වෙත කැඳවාගෙන යයි. සාමාන්‍යයෙන් ඕනෑම සම්බාහන මධ්‍යස්ථානයක මෙම ස්ථානය සාදා තිබෙන්නේ ලා නිල් පැහැති ග්‍රැනයිට් අතුරන ලද සිසිල් කාමරයක් තුළය. 
එහිදී පළමුව සේදුම් දියරයක් යොදා දෙපා සහ පතුල් හොඳින් සෝදනු ලබයි. ඒ සඳහා ද විනාඩි දහයක් පමණ ගත වේ. සම්බාහනය සිදු කරන ආයතනයේ සේවිකාව හෝ සේවකයා විසින් මෙසේ දෙපා සෝදා තෙත මාත්තු කළ පසු, පැළඳ ගැනීම සඳහා නාන කාමර සපත්තු කුට්ටමක් ලැබේ. එය පැළඳගෙන සම්බාහනය සිදු කරන ස්ථානය වෙත යා යුතුය. එහිදී. ඇඳ සිටින ඇඳුම් ඉවත කර ඇඳ ගැනීම සඳහා, පිජාමා ආකාරයේ ඇඳුමක් සපයනු ලැබේ. (මා එය පිජාමාවක් ලෙස හැඳින්වුවද මගේ මිතුරියන් දෙදෙනා එය හැඳින්වූයේ කරාටේ ඇඳුමක් ලෙසිනි.) සම්බාහනය ආරම්භ වන්නේ ඉන්පසුවය.


සම්බාහනය ද ආකාර කීපයකි. ව්‍යායාම් සහිත සම්බාහනය, තෙල් සාත්තුව සහිත සම්බාහනය, ව්‍යායාම් සහ තෙල් සාත්තුව සහිත සම්බාහනය, 
ඖෂධීය ඔරුවක බස්වා සිදුකරන සාත්තුව ආදී ලෙස විවිධාකාරය. මේ සියල්‍ලේම අවම කාලය පැයකි. උපරිම කාලය පැය දෙකකි. පැයකට වඩා වැඩි වේලාවක සම්බාහනයක් අවශ්‍ය නම්, ගෙවිය යුතු මුදල ද වැඩිවේ. ඉහත එක එකෙහි ගාස්තු එකිනෙකට වෙනස් වේ. වැඩිම මුදලක් ගෙවිය යුතු වන්නේ ඖෂධ ඔරුවක බස්වා සිදු කරනු ලබන සම්බාහනයටය. එහි අවම කාලය පැය එකහමාරකි. එමෙන්ම එය ලබා ගැනීම සඳහා පෙර දැනුම්දීමක් සිදුකර වේලාව වෙන්කර ගත යුතුය.
එහිදී එක් එක් පුද්ගලයාට විෂ විය හැකි ඖෂධ තිබිය හැකි බැවින් ඒ පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. බොහෝ විට බෙහෙත් ඔරු සහ තෙල් සාත්තු ආකාරයේ සම්බාහනය ලබාගන්නේ බටහිරින් පැමිණෙන විදේශිකයන්ය. එයට හේතුව ඔවුන්ගේ රටවල ඇති දැඩි ශීතල කාලගුණික තත්ත්වයයි. අධික ශීතලට නිරාවරණය වන බටහිර විදේශිකයන්ට, සමේ තෙල් සහිත බව රැක ගැනීමට මෙම සම්බාහනය සුදුසු බවට තැන් තැන්වල අලවන ලද දැන්වීම් කීපයක්ම තිබෙනු මට මතකය.

ආසියාතිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් ඇත්තේ ව්‍යායාම සහිත සම්බාහන සඳහාය. සාමාන්‍යයෙන් බටහිර ජාතීන් සිය සිරුරේ හැඩය, ප්‍රමාණය ආදිය පිළිබඳව සැලකිලිමත් වුව ද පෙරදිග ජාතීන් එලෙස සැලකිලමත් නොවේ. ඒ නිසාම සම්බාහන ක්‍රම මගින් එය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔවුන් පෙළඹී තිබේ. ඒ අනුව පෙරදිග දේශිකයක් බොහෝ විට තායි සම්බාහන ලබාගන්නේ ව්‍යායාම ද සහිතවය. මෙහිදී මුළු සිරුරේම සෑම මාංශ පේශියක් සඳහාම නිවැරදි ක්‍රමවත් සම්බාහනයක් ලැබේ. පාදයේ යටි පතුලින් ආරම්භවන සම්බාහනය, පැයක් ගත වන විට හිසෙන් අවසන් වේ. සම්පූර්ණ සම්බාහනය සිදුකිරීමෙන් අනතුරුව ස්වභාවික කපු පුළුං පුරවන ලද මෙට්ටයක් මත විනාඩි කීපයක් දිග ඇදී සිටිය යුතුය. ඒ සිරුර සහ මනස ඉහිල් වීම සඳහාය. මේ ඉහිල්වීම කෙතරම් ද යත්, ඒ මතදීම දෑස් පියවී නින්ද යන්නට ද පුළුවන. තවත් මොහොතකින් කොළ තේ කෝප්පයක් නොලැබෙන්නට, අපට නම් අනිවාර්යයෙන්ම හොඳින්ම නින්ද යන්නට තිබුණි.


බෙහෙත් ඔරුවක බැස සිදු කරන සම්බාහනයට පෙර, පළමුව සිසිල් ජලයෙන් ඇඟ සෝදා තෙත මාත්තු කරගත යුතුය. ඉන්පසු ඔවුන් විසින් සපයන සළුවෙන් සැරසී බෙහෙත් ඔරුවට බැස, අදාළ කාලය එය තුළ ගත කළ යුතුය. එක් ඔරුවක ඇති ඖෂධීය ද්‍රාවණය පාවිච්චි කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු සඳහා පමණි. බෙහෙත් ඔරුවෙන් පිටතට පැමිණි පසු විනාඩි කීපයක් සිරුර සහ මනස ඉහිල් වෙන්නට හරී. ඉන්පසු පෙර මෙන් කොළ තේ කෝප්පයක් පානය කරන්නට අවස්ථාව උදාවේ.

තෙල් සාත්තු සම්බාහනයේදී පළමුව විනාඩි කීපයක් සිරුර ඉහිල් වෙන්නට හැර, ඉන්පසු සිරුරේ ඖෂධීය තෙල් ගල්වා මාංශ පේශිවලට දැනෙන ලෙස තදින් පිරිමදිමින් සම්බාහනය කරයි. මේ ආකාරයට මුළු සිරුරම නිවැරදි ලෙස සම්බාහනය කිරීම සඳහා ගතවන අවම කාලය පැය එකහමාරකි. ප්‍රධාන වශයෙන් ඉහත ආකාරවල සම්බාහන ක්‍රම තායිලන්ත සම්බාහන ආයතනවලදී සිදු කරනු ලබන අතර, මීට අමතරව කරනු ලබන සෙසු සම්බාහන වර්ගද තිබේ. නමුත් ඒ සියල්ලම ඉහත කී ක්‍රමවලින් එකකට අයත්වේ. බොහෝ විට ඒවා, ප්‍රධාන ක්‍රමවලින් කැඩී ආ බවට විශ්වාස කළ හැකිය.

මෙම සියලුම සම්බාහන ක්‍රමවලින් බලා‍පොරොත්තු වන ප්‍රධාන අරමුණු කීපයකි.

1. සිරුර සහ මනස ඉහිල් වීම.
2. ආතතිය අවම වීම.
3. ක්‍රමවත් රුධිර සංසරණය.
4. කාය ශක්තිය වර්ධනය වීම.
5. සිරුරේ නම්‍යශීලී බව වැඩිවීම.
6. සිරුරේ චලන ශක්තිය වර්ධනය වීම.
7. මනස සහ සිරුර ඒක රේඛීයව ගමන් කිරීම.

සෑම මසකටම වරක්වත් මේ ආකාරයේ ක්‍රමවත් සම්බාහනයක් ලබා ගැනීමෙන් මාස කීපයක් තුළ ශාරීරිකව මෙන්ම මානසිකව ද සැලකිය යුතු මට්ටමේ සහනයක් ලබා ගත හැකි බව අත්දැකීමෙන් පවසන්නෝ, එවැනි සම්බාහන ලබාගත් පුද්ගලයෝය.

No comments:

Post a Comment